මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ
නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජුනි 06, 2023
  •     ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
  •     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩි වර්ෂාපතන පුරෝකථනයත් සමඟ නාවික හමුදා සහන කණ්ඩායම් 4ක් ද යොදවා ඇත

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රදේශවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය සහ නාගොඩ ප්‍රදේශවලට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර මතුගම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශවලට 2 වන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, අනෙකුත් ප්‍රදේශවලට 1 වන මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (ජුනි 06) උදෑසන නිකුත් කරන ලද නවතම අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කරයි. තවද සබරගමුව පළාතේ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ, ඌව සහ මධ්‍යම පළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි අපේක්‍ෂා කරන බවට ද එම නිවේදනයේ සඳහන් වේ.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සහන කණ්ඩායම් හතරක් (04) බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ කලවාන ප්‍රදේශවලට යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා ද නාවික හමුදාව බෝට්ටු සේවාවක් ද සලසා දී ඇත.