අපගේ සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

ජුනි 08, 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්ත්මත්වී ඇත. පසුගිය දශකය තුළ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන අංශයේ දියුණුවට සමගාමීව ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් එක් කළ බව බදාදා දින (ජුනි 07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.

මෙහි විවෘත කිරීමේ උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද එක්විය.

ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මැතිතුමා සමාරම්භක කථාව පවත්වමින් කියා සිටියේ තම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට තමන් අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකාව සමඟ සෑම ක්ෂේත්‍ර‍යක් තුලම දක්වන සහයෝගීතාවය අගනා දෙයක් ලෙස සලකන බවත්ය.

ආරක්‍ෂක උපාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පළමු ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්‍ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය දෙරට අතර සහයෝගීතාව සහ බැදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වනු ලැබේ.
 
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් දේශීයව නිපදවන ලද ආරක්‍ෂක රථ ප්‍රදර්ශනය කිරීම, ඉන්දීය ව්‍යවසායකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ නැගී එන තර්ජන සහ බලවේග ඵලදායී ලෙස මැඬලීමට අප රට තුලම සන්නද්ධ අවි අඛණ්ඩව නවීකරණය කර ගැනීමටත් මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා පැවසීය.

දුරස්ථ තාක්‍ෂණය ඔස්සේ උත්සවය අමතමින් ඉන්දීය ආරක්‍ෂක ලේකම් (ආරක්‍ෂක නිෂ්පාදන) ගිරිධාර් අරමානේ මැතිතුමා ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු බවත් එය ද්විපාර්ශ්වික සබඳතාවල දී ඉතා වැදගත් බවත් ප්‍රකාශ කළේය.

සමාරම්භක සැසියේදී යුධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරන ලදි.

ආරක්‍ෂක ප්‍රසම්පාදන අත් පත්‍රිකාවක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත පිළිගන්වන ලදි.

මෙම ප්‍රදර්ශනය මඟින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කෙරේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.