මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ජුනි 10, 2023

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදානය 2023 ජුනි මස 09 වන දින විශේෂ යාත්‍රා බලඝණයේ විධායක නිලධාරී කොමාණ්ඩර් පීසීපීඒ ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, මාලිමා සෝබර් දූපත් අවන්හලේදී සිදුකෙරිණි.

මුහුදු මාර්ගයන් ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන යටතේ (UNODC–GMCP) සංවිධානය කරන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවන් 2016 මැයි මස 04 වන දින සිට ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී නාවික හමුදාව විසින් පවත්වනු ලබයි.

ඒ අනුව, 2023 මැයි මස 29 වන දින ආරම්භ කරන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු (06), ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු (02) හා නාවිකයන් සිව් දෙනෙකු (04) සහ බංගලාදේශ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු (02) හා නාවිකයන් හය දෙනෙකු (06) සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහනේ පුහුණු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ස්ටුවර්ට් මෙල්විල්(Stuart Melville) මහතා ද සහභාගි විය.

උපුටා ගැනීම - www.navy.lk