යුද්ධ හමුදාව වෙතින් භාවිත කළ මඩකලපුව ප්‍රදේශයේ ඉඩම්
සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කෙරේ

ජුනි 12, 2023

රජයේ නියෝගයන්ට අනුකූලව 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ මඩකලපුව, සිට්ටන්ඩි ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පසුගිය අඟහරුවාදා (ජුනි මස 6) දින නිදහස් කරනු ලැබීය.

රාජ්‍ය නිලධාරින් වෙත පසුගිය අඟහරුවාදා (ජුනි මස 06) දින එම පරිශ්‍රය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මිය වෙත ඉඩම්වල නීත්‍යානුකූල ලිපිලේඛන භාරදෙනු ලැබීය. මෙම වැඩපිළිවෙල යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්‍ෂක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය.

අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 56 දෙනෙකුට පමණ අයිති මෙම ඉඩම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත පැවරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ ඉඩම් හිමියන් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

උපුටා ගැනීම - www.army.lk