ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ජුනි 13, 2023

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලට දෙවන මට්ටමේ (ඇම්බර්) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් කොළඹ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති අතර කාලගුණ අනාවැකි අනුව විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල පුළුල් වර්ෂාපතනයක් අපේක්‍ෂා කරයි.

කාලගුණ දෙපාර්තමේන්තුව අද (ජුනි 13) උදෑසන නිකුත් කළ නවතම අනාවැකි අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

වයඹ සහ මධ්‍යම පළාත්වල ද වැසි ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-45 අතර වේගයකින් තද සුළං ඇති විය හැක.