නාවික හමුදාව ගිං ගඟේ අවහිරතා ඉවත් කරයි

ජුනි 14, 2023

දිවයින හරහා ඇදහැලෙන මෝසම් වර්ෂාවත් සමඟ ගංඟා සහ ඇළ දොළ රැසක ජල මට්ටම හදිසියේ ඉහළ යාමත් දක්නට ඇත. මෙම ගංවතුර ජලය සමගින් ගලායන සුන්බුන් සහ කැළිකසළ විශාල ප්‍රමාණයක් ගසාගෙන යන අතර ඒවා පාලම් යට අවහිර වී ජල මාර්ග පහළට පටු වේ.

එවැනි අවහිරතා හේතුවෙන් ගංවතුරේ ස්ථාවරව ගලායාමට බලපෑම් අැති කරන අතර අවට පහත් බිම් ජලයෙන් යටවීමේ තර්ජනයක් ද ඇති කරයි.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා දොඩංගොඩ සහ අගලිය පාලම් යට ඇති එවැනි අවහිර කිරීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ භට පිරිස් විසින් සඳුදා (ජුනි 12) ඉවත් කරන ලදී.

මෙම ගංවතුර සහන සේවා කටයුතු සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම්කරුවන් සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නාවිකයන් කණ්ඩායමක්ද යොදවා තිබු අතර එමඟින් මෙම ප්‍රධාන ගංගාවේ ජලය දකුණු ප්‍රදේශයන් සුමටව ගලායාමට සැලසූ බව නාවික හමුදා මාධ්‍ය පවසයි.