ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ජුනි 14, 2023
  • NBRO නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ දෙහිඕවිට ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 3 වෙනි  මට්ටමේ (රතු) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේම යටියන්තොටට 2 වන  මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.

දිවයින පුරා පවතින මෝසම් වැසි හේතුවෙන් කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවලට 2 වන  මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලට 1 වන  මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 1වන  මට්ටමේ (කහ) නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවකාලගුණ  දෙපාර්තමේන්තුව පවසන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 135 රත්නපුර දිස්ත්‍රික්කයේ ලක්ෂකන්ද ප්‍රදේශයෙන් වාර්තා විය. මුලතිව් ප්‍රදේශයෙන් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 ක් වාර්තා වීමත් සමඟ රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ උණුසුම්ව පවතී.