ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ජුනි 19, 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය පවසයි.

මීටර් 67.5 ක් දිග මෙම සබ්මැරීනය 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් දිවාකර් එස් කටයුතු කරයි. 'INS Vagir' හි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානය විසින් සංවිධානය කරන යෝගා ඉසව්වකට සහභාගී වීමට නියමිතය. සබ්මැරීනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් පිරිසක් එහි සංචාරය කිරීමට අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ.

දෙරට අතර නාවික හමුදා අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්‍රියාකාරකම් කිහිපයකට මෙම සබ්මැරීනයේ නැව් මුළුව සහභාගී වීමට නියමිතය. ඔවුන් රටේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් ද නැරඹීමට නියමිත බව එහි සඳහන් වේ.

‘INS Vagir’ සබ්මැරීනය බ්‍රහස්පතින්දා (ජුනි 22) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.