යාපනයේ අසරණ පවුලක් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිවසක්

ජුනි 21, 2023

පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩ්ඩයිකාඩු ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවසක් ප්‍රතිලාභී පවුල වෙත පසුගියදා (ජුනි 18) ලබා දෙන ලදී.

යාපනයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  යටතේ යුද හමුදාව විසින් ඉදිකරන ලද 769 වැනි නිවස මෙය බව යුද හමුදා මාධ්‍ය වාර්තා සදහන් කරයි.
 
කඩ්ඩෙයිකාඩු, වත්තිරායන් ප්‍රදේශයේ ප්‍රතිලාභි එස්.ජෙස්ලි ජයරාජ් මහත්මියගේ ඉල්ලීමකට අනුව යුද හමුදාව විසින් මෙම නිවස ඉදිකරන ලදී. නිවස පවරා දීමේ උත්සවයට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ද සහභාගී වූ බව එහි සඳහන් වේ.

12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස්වල ශ්‍රම ශක්තියෙන් සහ තාක්ෂණික කුසලතාවෙන් මෙම නිවස ඉදිකර ඇත.

කිලිනොච්චි කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එස්.පී අජිත් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනවාර්ගික සහජීවනය, සංහිඳියාව සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව නිවාස නොමැති අසරණ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ මෙම සත්ක්‍රියාව සිදු කරනු ලබයි.