වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා 2023-2028 ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සංවර්ධනය කිරීමේ වැඩමුළුවේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පාර්ශවකරුවන් හමුවෙයි

ජුනි 23, 2023

2023-2028 ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සංවර්ධනය කිරීම සඳහා වන වැඩමුළුව අද (ජුනි 23) කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති අතර, වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එම අවස්ථාවට සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ආරාධිතයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පාර්ශවකරුවන් සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ජාත්‍යන්තර හවුල්කරුවන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාව වැනි ප්‍රතිචාර දක්වන්නන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

වැඩමුළුව අමතමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නොයෙකුත් දුෂ්කරතා හමුවේ අපගේ සහෝදර පුරවැසියන්ගේ ජීවිත සහ යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සඳහා වන කැපවීම මෙම වැඩමුළුවට පැමිණ සිටි පාර්ශවකරුවන්ගෙන් පෙන්නුම් කරන බවයි.

වැඩමුළුවේ වැදගත්කම පෙන්වා දුන් ඇමතිවරයා ගංවතුර, නායයෑම් සහ නියඟය ඇතුළු ස්වභාවික විපත්වලට ශ්‍රී ලංකාව ගොදුරු විය හැකි බැවින්, එවැනි ආපදා සඳහා පෙර සූදානම, බලපෑම පදනම් වූ පූර්ව අනතුරු ඇඟවීම් සහ කළමනාකරණය අප ජාතියේ තීරණාත්මක අවශ්‍යතාවයක් බව පැවසීය.

තවද "දැනට අපි අනුගමනය කරන පද්ධති,ක්‍රියා පටිපාටින් සහ භාවිතයන් උපාය මාර්ගික ක්‍රියාකාරී සැලසුම් මත පදනම් වූ දූරදර්ශී ඉලක්ක සමඟ යාවත්කාලීන කළ යුතු බව", ඔහු වැඩිදුරටත් පැවසීය.

සියලුම පාර්ශවකරුවන් සිටීමෙන් පිළිබිඹු වන්නේ තනි ආයතනයකට අභියෝගවලට තනිවම මුහුණ දිය නොහැකි බවත්, ආපදාවල බලපෑම විශාල වශයෙන් අවම කරගනිමින් අපේ ජනතාව ආරක්‍ෂා කර ගත හැක්කේ රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජාවගේ සාමූහික උත්සාහයෙන් බවත්ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ විසින් මෙහි පිළිගැනීමේ කතාව සහ ආරම්භක අදහස් දැක්වීම සිදුකරන ලදි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - ආරක්‍ෂක හර්ෂ විතානආරච්චි මහතා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ද මෙම අවස්ථාවට එක් වූහ.