විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 29, 2023

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඊයේ දින (ජූනි 28) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

වසර 38 කට ගුවන් හමුදා සේවා කාලයක් නිම කල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් පතිරණගේ විශ්‍රාම යාම සනිටුහන් කරමින් අද දින ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සිය අදහස් පල කරමින් කියා සිටියේ දශක තුනක කාලයක් තිස්සේ රටේ පැවති ත්‍රස්තවාදය තුරන් කළ මානුෂීය මෙහෙයුම සඳහා මෙන්ම රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදි සහ සුරක්‍ෂිත රටක් ගොඩනැගීම සඳහා ගුවන් හමුදාවට සාර්ථකව අණ දෙමින් එයාර් මාර්ෂල් පතිරණ විසින් විශිෂ්ට මෙහෙයක් ඉටුකල බවයි.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන හමුදාපති ලෙස 2020 නොවැම්බර් 02 වන දින වැඩභාර ගන්නා ලදි.

1965 දෙසැම්බර් 30 දින උපත ලද ඔහු කීර්තිමත් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කර 1985 ජූලි 02 දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්විය.

නිරීක්‍ෂණ ගුවන් යානා නියමුවෙකු ලෙස සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කරන ලද ඔහු සැහැල්ලූ ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කර අනතුරුව, ශ්‍රී ලංකාවේ සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානා පියාසර කරන ලද ගුවන් නියමු කණ්ඩායමේ ප්‍රහාරක ජෙට් යානා නියමුවෙකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිසෙන ලදි.

පියාසර උපදේශකයෙකු සහ පියාසර පරීක්‍ෂකවරයෙකු වන ඔහු කෆීර් සහ එෆ්-7 ප්‍රහාරක යානාවලට අමතරව ගුවන් යානා වර්ග 10කට අධික ප්‍රමාණයක් සඳහා සුදුසුකම් ලබා ඇති අතර, පියාසර පැය 3,500කට වඩා වැඩි කාලයක් ගුවනේ පියාසර කර ඇත.

එයාර් මාර්ෂල් පතිරණ විසින් ප්‍රකට කරන ලද නිකැළැල් සහ කීර්තිමත් සේවය වෙනුවෙන් "විශිෂ්ඨ සේවා විභූෂණය" සහ "උත්තම සේවා පදක්කම" ඔහු වෙත ප්‍රදානය කොට ඇති අතර, මානුෂීය මෙහෙයුම් වලදී ඔහු දැක්වූ උදාර සහ පරාර්ථකාමී දායකත්වය වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය දෙවරක්¸ රණ වික්‍රම පදක්කම දෙවරක් සහ රණ ශූර පදක්කම සිව්වරක් වශයෙන් අවස්ථා අටකදී වීරෝධාර පදක්කම් ඔහු වෙත ප්‍රදානය කොට තිබේ.

විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළ ආරක්‍ෂක ලේකම්වරයා, මෙම අවස්ථාව සංකේතවත් කරමින් ගුවන් හමුදාපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානී ගුණරත්න මහත්මිය විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය  වෙත විශේෂ සිහිවටනයක් ද පිළිගැන්වූවාය.  

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති චාමිනී පතිරණ මහත්මිය විසින් කරන ලද උදාර සේවාවන් සහ දායකත්වය ද මෙහි දී ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට ලක්විය.

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් සිය රාජකාරීන් නිසි ලෙස ඉටුකිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය තමන් වෙත සුහද සහයක් ලබාදුන් බවත් ඒ සබැඳිව සිය කෘතඥතාව පළ කරන බවත් එය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය අතර ඇති සියලු කටයුතු සහයෝගයෙන් සිදුකර ගැනීමට උපකාර වූ බවත් පැවසීය.

තවද ආරක්‍ෂක ලේකම්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සියලු ආරාධිත අමුත්තන්ට ගුවන් හමුදාපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාව පළකරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනී ජානකී ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලා ළමාහේවා, ආරක්‍ෂක අමාත්‍යාංශය  යටතේ පවතින ආයතන වල ප්‍රධානීන්/අධ්‍යක්ෂ ජනරාල් වරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ අනෙකුත් ප්‍රධානින් මෙන්ම  ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද සහභාගී වූහ.