මනම්පිටිය, කොටලීය පාලම අසලදී අනතුරට පත් බස් රථයේ මඟින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය

ජුලි 10, 2023

මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගිය ඉරිදා (09) දින සන්ධ්‍යාවේ 7.30 ට පමණ කොටලීය ඔයට පෙරලුණු බස් රථයේ මඟින් මුදවාගැනීම සඳහා 12 ගැමුණු හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ පොලිස් හේවා බලකායේ භටපිරිස් කඩිනමින් සිය දායකත්වය දැක්වූහ.

මෙම අනතුර පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එම බලප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා පුහුණු පාසල, 19 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 1 කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණි අතර ඒ වන විටත් එම ස්ථානයේ රැස්ව සිටි පිරිසෙහි සහයෝගය මත ජීවිතක්‍ෂයට පත්වූවන්ගේ දේහයන් සහ තුවාල ලැබූවන් මුදවාගැනීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී මෙම මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

පොළොන්නරුවේ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථය මනම්පිටිය, කොටලීය පාලම පසුකරමින් සිටියදී කොටලිය ඔයට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු මියගොස් 41 දෙනෙකු තුවාල ලැබිණි. තුවාල ලැබූවන් අතර 6 ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයෙකු සහ යුද්ධ හමුදා සිවිල් සේවක මහතෙකු ද සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුග්‍රහය - www.army.lk