වවුනියාව වෙළඳ සංගමයේ දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය යුධ හමුදා භටපිරිස් ශ්‍රම දායකත්වයෙන් ඉදිවේ

ජුලි 12, 2023

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සිවිල් ජනතාව සහ හමුදා අතර සංහිඳියාව සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක් පසුගියදා ඉදිකරන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ගේ උපදෙස් මත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 56 වන පාබල සේනාංක භටපිරිස් විසින් ව්‍යාපෘතිය නිම කරන ලද බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

වවුනියාව වෙළෙඳ සංගමයේ සභාපති ෂන්මුගරාජා සුජෙන් මහතා මෙම සංකීර්ණය ඉදිකිරීම සඳහා යුද හමුදාවේ තාක්‍ෂණික සහය සහ ශ්‍රම ශක්තිය ඉල්ලුම් කර ඇති බව යුද හමුදාව තහවුරු කළේය.

සියලු නවීන පහසුකම්වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක් සහ කාර්යාල මැදිරි සහිත මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ආගමික ආශිර්වාද මධ්‍යයේ වන්නි ආඥාපති, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, වවුනියා දිස්ත්‍රික් ලේකම්, වවුනියාව නියෝජ්‍ය පොලිස්පති හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෙළෙඳ සංගමයේ නිලධාරීන් සහ නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණි.