ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී දිදුලයි

ජුලි 17, 2023

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023 සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (ජුලි 16) නව ආසියානු මලල ක්‍රීඩා ශූරතා වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් 400 × 4 පිරිමි සහය දිවීමේ තරඟයේ රන් පදක්කම දිනා ගන්නා ලදි.

පිරිමි සහය දිවීමේ කණ්ඩායම සැරයන් එච්.කේ.කේ. කුමාරගේ, බොම්බඩියර් එස්.ඒ දර්ශන, ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එන් රාජකරුණා සහ තුවක්කු සෙබළ ජී.ඩී.කේ.කේ නිකූ යන අයගෙන් සමන්විත වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන් රාමනායක විසින් පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එක් කරමින් තරඟාවලියේ මීටර් 400 කාන්තා අංශය ඉසව්වෙන් පළමු ස්ථානයට පත් විය. තවද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනාගත් 400 x 4 කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ ද කෝප්‍රල් රාමනායක සිටි බව යුද හමුදා ආරංචි මාර්ග තහවුරු කළේය.

එසේම, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ කෝප්‍රල් එච්.එල්.එන්.ඩී ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර් 60.93) පිහිටුවමින් හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරිනී ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර කාන්තා 400x4 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සාමාන්‍ය නාවික සෙබළ සයුරි මෙන්ඩිස් ක්‍රීඩිකාව සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.