වියළි කහ කිලෝ 3,538 ක් මුහුදෙන් ගෙන ඒමට ගත් උත්සාහයක් නාවික හමුදාව ව්‍යර්ථ කරයි

දෙසැම්බර් 15, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ නාවික විධානය හා උතුරු මැද නාවික විධානය මගින් සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී වියලි කහ කිලෝග්‍රෑම් 3,538 ක් සහ ඉන්දීය ජාතිකයන් තිදෙනකු ඇතුළුව සැකකරුවන් 07 දෙනෙක් පසුගිය සති දෙක තුල නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

වයඹ නාවික විධානය මගින් පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අන්තර් ජාතික මුහුදු සීමාවට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී 2020 දෙසැම්බර් 12 වන දින සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කරන ලද බව නාවික හමුදාව පවසයි.

තවද, නාවික හමුදාවේ වෙරළබඩ මුර යාත්‍රා යොදා ගනිමින් සැක සහිත යාත්‍රාව සොයා ගෙන ඇත. එම ඩව් යාත්‍රාවේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 64ක අසුරන ලද වියලි කහ කිලෝ 2,404 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් තිබී ඇති අතර ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, දෙසැම්බර් 11 වන දින වයඹ නාවික විධානය මගින් කල්පිටිය ඕලන්ද බොක්ක (Dutch Bay) මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කරන ලද අතර, එහි තිබී උර 10 ක අසුරන ලද වියලි කහ කිලෝ 480ක් සොයාගෙන ඇත.

මේ අතර සැකකරුවන් දෙදෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් නොවැම්බර් 20 වන දින මන්නාරම වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර, එහි තිබූ පාර්සල් 18 ක අසුරන ලද වියලි කහ කිලෝ 654 ක් සොයා ගෙන ඇත.

මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙහෙයුම් සිදු කරන ලදි.

කුදිරමලේ තුඩුවට බටහිර, ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතිකයින් තිදෙනා පවත්නා වසන්ගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි.

කල්පිටිය සහ මන්නාරම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 31 සහ 37 අතර වයසේ පසුවන කල්පිටිය සහ තාල්පාඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

නාවික හමුදා භාරයට ගත් කහ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක සහ යාපනය රේගු කාර්යාල වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.