ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින්
කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ජුලි 24, 2023

ජුලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් පරිසර අමාත්‍යංශය හා එක්ව, කල්පිටිය කප්පලාඩි ප්‍රදේශයේ සහ මල්වතුඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුලි මස 14 සහ 21 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගංඟා, මෝය හා කලපු ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් කඩොලාන රෝපණය කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත යන ආයතනයන් විසින් මෙම කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා කඩොලාන පරිසරය විශාල දායකත්වයක් දක්වයි. මත්ස්‍යයන් හට අභිජනන පරිසරයක් නිර්මාණය කරනු ලබන මෙම කඩොලාන පරිසරය තුළින් ධීවර ප්‍රජාවට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනු ලබන අතර, කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායූන් අවශෝෂණය කර ගැනීම කඩොලාන ශාක මඟින් සිදුවන බැවින්, එම පරිසරය රැක ගැනීම හා ව්‍යාප්ත කිරීම දිගුකාලීන ගෝලීය උණුසුම පාලනය සඳහාද විශාල දායකත්වයක් දක්වයි.

තවද, කඩොලාන පරිසර පද්ධතිය මඟින් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතින් සාගරයට එක්වන අපද්‍රව්‍ය සීමා කිරීම, ස්වභාවික හේතූන් මත කලපු, ගංඟා, මෝය සහ ඉවුරු ආශ්‍රිත වෙරළ පරිසරය ඛාදනය වැළැක්වීම සහ වාතාශ්‍රය පිරිසිදු කිරීම වැනි පරිසරයේ තිරසාරත්වය වෙනුවෙන් ඉහළ දායකත්වයක් සිදුවන බැවින්, එම පරිසරය අනාගතය වෙනුවෙන් රැක ගැනීම සඳහා නාවික හමුදාව මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරනු ලබයි.

අනුග්‍රහය - www.navy.lk