චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකි - ආරක්‍ෂක ලේකම්

ජුලි 25, 2023

ජාත්‍යන්තරයෙන් පදනම් විරහිත චෝදනා අප රට වෙත එල්ල වූ අවස්ථාවන්හිදී චීනය සැබෑ මිතුරෙකු ලෙස රැඳී සිටිමින් අප සමඟ උරෙන් උර ගැටී අපව අවබෝධ කරගනිමින් අපට අවශ්‍ය සහයෝගය ලබාදුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සඳුදා  (ජුලි 24) පැවති චීන මහජන විමුක්ති හමුදාවේ 96 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදි පැවසීය.

අපගේ රටවල් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර විශේෂයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ විවිධ ක්ෂේත්‍රයන්හි ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇති බව දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම කලාපයේ සහ ලෝකය තුළ සාමය සහ ස්ථාවරත්වය අගය කරන අතර, මෙම කැපවීම තහවුරු කිරීම සහ ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම මෙන්ම කලාපීය සහ ගෝලීය ආරක්‍ෂාව සඳහා දායකවීම සඳහා දෙරටේ සන්නද්ධ හමුදාවන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන තානාපති අතිගරු Qi Zhenhong මැතිතුමා විසින් ඊයේ සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න සහ චිත්‍රානි ගුණරත්න පිළිගනු ලැබීය.

චීන මහජන විමුක්ති හමුදාව ආරම්භයේ සිට එහි වර්තමාන ස්වරූපය වන නවීන හා බලගතු බලවේගයක් දක්වා වූ කැපී පෙනෙන ගමන එහි ස්වෛරීභාවය සුරැකීමට සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට චීනයේ ඇති අධිෂ්ඨානය පිළිබඳ සාක්‍ෂියක් බව ඔහු තවදුරටත් පැවසීය.

යුද ගැටුම් පැවති සමයේ දී චීනය විසින් අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔහු සිය කෘතඥතාවයද මෙහිදි පළ කළේය.

මැති ඇමතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජාතික බුද්ධි ප්‍රධානී, හිටපු හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo, රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.