කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය කුරුණෑගල මණ්ඩපය ඉදිරියේදී පිහිටුවීමට නියමිතයි - ආරක්‍ෂක ලේකම් නැවත අවධාරණය කරයි

ජුලි 28, 2023
  • ඉදිරි උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පහසුකම් පුලුල් කෙරේ.
  •  දක්‍ෂිණ මණ්ඩපයේ අංග සම්පූර්ණ නව කෙඩෙට් නිලධාරි භෝජනාගාරය සහ නිවස්න පහසුකම් සිසු අයිතියට.
  • කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිර්මිත පරිසර පර්යේෂණ සංග්‍රහය (Journal of Built Environment) සහ කාර්මික සඟරාව (Industrial Magazine ‘QUALITY- for Sustainable Future’) නිකුත් කරයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවීමේ කටයුතු සිදුකරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජුලි 28) යළි අවධාරණය කළේය.

මෙතුලින් අපගේ සිසුපරපුරට ගෝලීය මට්ටමේ, කාලානුරූපී සහ විනයගරුක අධ්‍යාපනයක් මෙන්ම රැකියා සුරක්‍ෂිතාවන් සමඟින් අසමසම අත්දැකීමක් අත්විඳීමට අවස්ථාවන් සැලසෙන බව සූරියවැව පිහිටි ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ පැවති උත්සවයක් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

දක්‍ෂිණ මණ්ඩපයට ඇත්තේ වසර අටක කෙටි ඉතිහාසයක් වුවද, එය තුලින් අප ජාතියට ඇති කළ වෙනස සුවිශේෂී බව ජෙනරල් ගුණරත්න පැවසූවේ මෙම මණ්ඩපයට ඔහු මීට පෙර සිදුකල සංචාරය සිහිපත් කරමිනි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයෙහි අභිනවයෙන් ඉදිකරන ලද කෙඩෙට් නිලධාරි නිවස්නය, කාන්තා සහ පිරිමි කෙඩෙට් නිලධාරි නේවාසිකාගාර සංකීර්ණයන් විවෘත කිරීම, පර්යේෂණ සංග්‍රහයක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් පිළිගනු ලැබූ අතර, අදාළ විවෘත කිරීමේ උත්සවවලින් අනතුරුව නව පහසුකම් නිරීක්‍ෂණය කරන ලදි.

සම්මානිත මහාචාර්ය ලලිත් ද සිල්වා විසින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිර්මිත පරිසර පර්යේෂණ සංග්‍රහය එළිදැක්වීමේ ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, 'QUALITY- for Sustainable' සඟරාව එළිදැක්වීමේ ප්‍රධාන දේශනය මහාචාර්ය සමන් යාපා විසින් පවත්වන ලදී. එහි ඊ-අනුවාදයන් ද මෙම අවස්ථාවේදී එළිදැක්විණි.

පර්යේෂණ සංස්කෘතියක් සහ බුද්ධිමය පෝෂණය සඳහා දක්වන කැපවීම සැබවින්ම ප්‍රශංසනීය බව සිය දේශනය අතරතුර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය අගය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සිය දේශනයේදි පැවසීය.

ගුණාත්මක අධ්‍යාපනය තුළින් අපේ තරුණ පරපුරේ මනස සංවර්ධනය කර පෝෂණය කරමින් ඉදිරියට යන අතරම, ශ්‍රී ලංකාවට කැපවීමෙන් සහ අවංකව සේවය කරන වෘත්තීය නිලධාරීන් බිහිකිරීමේ අපගේ කැපවීම යළිත් තහවුරු කරන බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය. සැමට දීප්තිමත් හා සුරක්‍ෂිත අනාගතයක් සඳහා දායක වෙමින් මෙම නිලධාරින් අපගේ ජාතියේ ප්‍රගතිය පිටුපස ඇති ගාමක බලවේගය වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

තම දැනුම් නිම් වළලු පුළුල් කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස මෙහිදී කෙඩෙට් නිලධාරින්ගෙන් ඉල්ලා සිටින ලදි. තවද, අධ්‍යාපනය යනු රැකියාවක් සුරක්‍ෂිත කිරීමේ මාධ්‍යයක් පමණක් නොව එය තම සංවර්ධනයේ සහ ස්වයං සොයාගැනීමේ ජීවන මංපෙතක් බව ද ඔහු පැවසීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ධම්මිකා විජයසිංහ සහ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) ඉන්දිකා විජේගුණවර්ධන, දක්‍ෂිණ මණ්ඩපාධිපති මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය අධ්‍යයන සහ පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.