‘ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට ඉඩක් නැත’ - රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

ජුලි 30, 2023
  • ෆෙතුල්ලා ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ කාර්යභාරය තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා ප්‍රශංසා කරයි

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රම්ත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිය තුර්කි සංචාරයේදී තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මැතිතුමා හමුවූ අවස්ථාවේදීය.

දිවයිනේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය විශේෂයෙන් බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා බෙහෙවින් අගය කළේය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ අමාත්‍ය ගුලර් අතර බහුවිධ වේදිකා තුළ ද්විපාර්ශ්වික සහය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වන ලදි.

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනයට සමගාමීව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවිය.

මෙම හමුව සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ තුර්කි ආරක්‍ෂක නිලධාරීන් ද එක්ව සිටියහ.