ශ්‍රී ලංකා නාවික හමුදාව රෝගී ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

අගෝස්තු 03, 2023

බහුදින ධීවර යාත්‍රාවක සිටි දේශීය ධීවරයෙකු මුහුදේ සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍යවලට අනුව, මෙම ධීවරයා ඉරිදා (ජුලි 30) කලමැටිය ධීවර වරායෙන් 'වර්ෂාන් පුතා 03' (Reg. No. IMUL-A-0872 MTR) බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදට ගොස් ඇත.

මුහුදේදී බරපතල ලෙස රෝගාතුර වී ඇති මෙම ධීවරයා පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින්  දක්‍ෂිණ නාවික විධානයට අයත් P 475 දරණ වේග ප්‍රහාරක යාත්‍රාව ඔහුව රැගෙන ඒම සඳහා කඩිනමින් පිටත් කර ඇති බව එහි සඳහන් වේ.

හම්බන්තොටට ගිණිකොන දෙසින් නාවික සැතපුම් 20ක් (කිලෝමීටර් 37ක්) පමණ මුහුදේ දී රෝගී වූ ධීවරයාව නාවික හමුදා යාත්‍රාව මගින් පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 01) හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් ඇති අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.