නියගය ඇතුළු ස්වාභාවික පරිසරයේ සහ කාලගුණයේ සිදුවන වෙනස්වීම් දේශපාලනීකරණය කරන්න එපා - රාජ්‍ය ඇමති තෙන්නකෝන්

අගෝස්තු 09, 2023

මේ වන විට රට තුළ පවතින වියළි කාලගුණික තත්වය සෘතුමය සංසිද්ධියක් බවත්, එයින් දේශපාලන වාසි ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ යුතු බවත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (අගෝස්තු 9) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ දිනවල පවත්නා නියඟයෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 50,535ක පුද්ගලයන් 166,904ක් පීඩාවට පත්ව සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් විපතට පත් ජනතාවට පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇත.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේය.

කාලගුණයේ සෘතුමය වෙනස්කම් හේතුවෙන් රට වියළි කාලගුණ තත්වයකට මුහුණ දෙමින් සිටින අතර ඉදිරි මාසවලදී අපේක්ෂා කල හැකි මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය යහපත් වනු ඇත. ආපදා කළමනාකරණ අංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සහ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මෙම තත්ත්වයට මුහුණ දීමට සාමූහික පියවර ගත හැකි ආකාරය සබැඳිව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සැපයුම සහ වාරිමාර්ග අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාර්යක්ෂම ජල කළමනාකරණයක අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේ, දේශීය හා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා මූලාශ්‍ර සහ කාලගුණ අනාවැකි වලින් රැස්කරගත් තොරතුරු හුවමාරු කරගැනීමටත් ඉදිරියේදී හදිසි කාලගුණික තත්වයන්ට මුහුණ දීමට බලධාරීන් සැලසුම් කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටත් මාධ්‍යවේදීන් සමඟ මාසික රැස්වීම් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ව්‍යසනයන් පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලැව්ගිනි 58ක් වාර්තා වී ඇති අතර, මෙම ලැව්ගිනි බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වන බවයි. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා එවැනි අපරාධ සිදුකරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති යාවත්කාලීන කළ යුතු බව ඔහු පැවසීය.
 
කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ පැවති මෙම මාධ්‍ය හමුවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ.කේ කරුණානායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතානාරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.