කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමේ ජංගම වැඩසටහනක්

අගෝස්තු 11, 2023

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ වැඩසටහනක් අගෝස්තු මස 10 වන දින කුරුණෑගල මල්කඩුවාව හෙරලියාවත්තේ පිහිටි ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ජංගම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් වන මෙම හමුවේදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින රණවිරුවන්ගේ ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින රණවිරු සේවා අධිකාරියට පැමිණීමේ අපහසුතාවන් පවතින රණවිරුවන්ගේ ගැටලු නිරාකරණය කර දීම සඳහා ඔවුන් වෙතට ගොස් අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමයි.

විද්‍යාත්මකව කරන ලද මනා ඇගයීමකින් පසුව වත්මන් සභාපතිතුමන්ගේ ධූර කාලය තුළදී රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලද සුභසාධන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව සභාපතිතුමා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් දැනුවත් කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ රණවිරු සංසද නියෝජිතයන් මෙම ජංගම වැඩසටහනට සහභාගි විය.