‘ඉන්දු ශාන්තිකර පරිසර ආරක්‍ෂක සංසදය - 2023’ කොළඹදී ආරම්භ වෙයි

අගෝස්තු 15, 2023

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්‍ෂක සංසදය - 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී, අද දින (2023 අගෝස්තු 14) ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලී චන්ග් මහත්මිය, දේශගුණික විපර්යාස පිළබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

අද දින (2023 අගෝස්තු 14) ආරම්භ කෙරුණු 12 වන වරට පැවැත්වෙන මෙම ඉන්දු ශාන්තිකර පරිසර ආරක්‍ෂක සංසදය, 2023 අගෝස්තු මස 17 වන දින දක්වා දින හතරක් (04) පැවැත්වෙන අතර, පරිසර ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන තේමාවන් ඔස්සේ පැවැත්වෙන මෙවර සංසදය සඳහා ඉන්දු ශාන්තිකර කළාපය නියෝජනය කරමින් උසස් හමුදා පුද්ගලයන් සහ පරිසරවේදීන් රැසක් සහභාගී වේ. ඉන්දු ශාන්තිකර කළාපීය පාර්ශවකරුවන් විසින් කලාපීය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් මෙහිදී දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකෙරේ.

ඒ අනුව, මෙම සංසදයේ සමාරම්භක දිනය වූ අද දින (2023 අගෝස්තු 14) දේශගුණික විපර්යාස සහ ආරක්ෂාව (Climate Change and Security) යන තේමාවට අදාලව පරිසර ආරක්‍ෂක පාර්ශවකරුවන් අතර, උගත් පාඩම්, යහපත් භාවිතයන් පිළිබඳ ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන හා කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි. එමෙන්ම, 2023 අ‍ගෝස්තු මස 15 වන දින සමුද්‍ර, සාගර සහ ජල ආරක්ෂාව (Maritime, Ocean and Water Security) යටතේත්, 2023 අ‍ගෝස්තු මස 16 වන දින නාගරීකරණයේ බලපෑම සහ ඉඩම් ආරක්ෂාව (Impacts of Urbanization and Land Security) සහ මෙම සංසදය අවසන් දිනය වන 2023 අගෝස්තු මස 17 වන දින කාලගුණික විපර්යාස සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ජාතික හා කලාපීය වශයෙන් ගොඩනැගීම (Building National and Regional Resilience) යන තේමාවන් ඔස්සේ මෙම සංසදය පැවැත්වීමට නියමිතව ඇත.

තවද, ඉන්දු ශාන්තිකර පාරිසරික ආරක්‍ෂක සංසදය - 2023 සඳහා ඉන්දු ශාන්තිකර කලාපීය රාජ්‍යයන් 28 ක් සහ අනෙකුත් සංවිධාන නියෝජනය කරමින් හමුදා ප්‍රධානීන් සහ පරිසරවේදීන් 140 ක පමණ පිරිසක් සහභාගී වී සිටින අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය හා එක්ව මෙවර සංසදය උසස් අන්දමින් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

අනුග්‍රහය - www.navy.lk