පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

අගෝස්තු 16, 2023

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් අද (අගෝස්තු 16)ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

නව පකිස්තාන ආරක්‍ෂක උපදේශකවරයාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය.

මෙම සාකච්ඡාවේදී කර්නල් ෆාරුක් තම රටට අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සිය අභිලාෂය බැව් පැවසීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආරක්‍ෂක කතිකාවත පිළිබඳව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

ආරක්‍ෂක උපදේශකවරයාගේ කෘතඥතාවයට ප්‍රතිචාර දක්වමින් ජෙනරල් ගුණරත්න, පාකිස්ථානය අතීතයේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගිතාව සිහිපත් කළේය. නව ධූරයේ කටයුතු සාර්ථක වේවායි සුභ පැතුම් එක් කරමින්, පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.