ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය සඳහා ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක්

අගෝස්තු 17, 2023
  • ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට යාබද ඉඩමක සේවාමුක්ත භට සංගමය සඳහා නව ගොඩනැගිල්ලකට ආරක්‍ෂක ලේකම්වරයා මුල්ගල් තබයි.

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (අගෝස්තු 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ වෙන් කර ඇති භුමි කොටසක සේවාමුක්ත භට  සංගමය සඳහා යෝජිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීය.

සේවාමුක්ත භට සංගමයේ නව කාර්යාලයකට ඉඩමක් ලබාගැනීමට මුලිකත්වය ගෙන ක්‍රියාකල  ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින්  සේවාමුක්ත භට සංගමයෙහි 78 වැනි සංවත්සර උත්සවයේ දී දුන් පොරොන්දුව ඉටුකරමින් පර්චස් 266 ක සුවිශේෂී භූමි ප්‍රමාණයක වර්ග අඩි 10,032 ක ප්‍රමාණයකින් යුත් දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකට ආගමික වතාවත් සහ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් මුල්ගල තැබීය.

අපේක්‍ෂිත වටිනාකම්  මිලියන 60 ක් පමණ වන මෙම ව්‍යාපෘතිය අවසන් වන තෙක් ත්‍රිවිධ හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලැබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න, සේවාමුක්ත භට  සංගමයේ  ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) සහ සේවාමුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.