එක්සත් රාජධානිය පදනම් කරගත් සර්ව වාර්ගික ප්‍රජාව රණවිරු
දරුවන් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමයි

අගෝස්තු 23, 2023
  • ‘රටට යුතුකම ඉටු කරන්න’ - ආරක්‍ෂක ලේකම් රණවිරු දරුවන්ට කියයි
  • රණවිරු සේවා අධිකාරිය තවත් ශිෂ්‍යත්ව ලබාදීමට ඉදිරියේදී සැලසුම් කරයි

රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සදහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන් වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ අදහසකට අනුව අද (අගෝස්තු 23) කොළඹ 3 කොල්ලුපිටියේ පිහිටි රණවිරු සේවා අධිකාරි කාර්යාලයේදී සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.

ඒ අනුව සෑම සිසුවෙකුටම මාසිකව රු. 5,000.00 බැගින් වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව හිමි විය.

මෙම ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය දක්වන්නේ එක්සත් රාජධානියේ සර්ව වාර්ගික ප්‍රජාව විසිනි. එක්සත් රාජධානියේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් සමන්විත මෙම සංවිධානය තවත් ශිෂ්‍යත්ව 90ක් කඩිනමින් පිරිනැමීමට අදහස් කරයි.

“මෙම ශිෂ්‍යත්ව ඔබට ලබාදෙන්නේ ඔබේ පියවරුන්ගේ කැපකිරීම්වලට කෘතගුණ සැලකීමක් ලෙසයි. ඒ බවත් වටහාගෙන හොඳින් ඉගෙන ගෙන මව්බිමට සේවය කිරීම ඔබේ වගකීමක්” බව උත්සව සභාව අමතමින් ජෙනරල් ගුණරත්න ප්‍රකාශ කළේය.

රටට වැඩදායි පුරවැසියන් වී රටේ සංවර්ධනයට කටයුතු කරන ලෙස ශිෂ්‍යත්වලාභී දරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

රණවිරු සේවා අධිකාරියෙහි උදාර සේවය අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, රණවිරු පවුල්වල දරුවන්ට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වූ අනුග්‍රාහකයන් දැක්වූ කාරුණිකත්වය පිළිබඳව සිය ස්තුතිය පල කළේය.

අලුතින් හඳුන්වා දුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට රණවිරු සේවා අධිකාරියෙහි වත්මන් සභාපතිවරයාගේ මුලපිරීමෙන් මේ වන විට රුපියල් මිලියන 8.2 ක් ප්‍රදානය කර ඇත.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සහ ශිෂ්‍යත්ව ලාභීන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.