මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් 36 ක් නාවික හමුදා භාරයට

දෙසැම්බර් 16, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි දෙසැම්බර් 15 දින සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළුවී ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සීමා වී තිබුණත්, දිගින් දිගටම විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්, දේශීය ධිවර ප්‍රජාවට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදෙස් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදුකරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව නැවත ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි .

ඒ අනුව, උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදු සීමාවේ සිදුකල විශේෂ මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධිවර යාත්‍රා තුනක් (03)  නාවික හමුදා භාරයට ගෙන ඇත.

අනවසර ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් ඉන්දීය ජාතිකයින් 22 ක් සමඟ එම ධීවර යාත්‍රා නාවික හමුදා භාරයට ගෙන ඇත.

එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත්, වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට බටහිර මුහුදෙත් සිදුකළ විශේෂ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකළ තවත් ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ජාතිකයින් 14 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම් සිදුකර ඇත.

ඉන්දීය ධීවර යාත්‍රා 05 සහ ඉන්දීය ජාතිකයින් 36 දෙනා පිළිබඳ ඉදිරි පරික්‍ෂණ කටයුතු මේ වන විටත් සිදුකෙරමින් පවතී.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමටද කටයුතු සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදුකරනු ලබයි.