ඊයේ දිනට PCR පරීක්‍ෂණ 9,606 ක් - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 16, 2020

අද (දෙසැම්බර් 16) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 643 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 34,120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්  21 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 309 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 119 ක් ද වේ. වෙනත් දිස්ත්‍රික්කයන්ගෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 90 කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30,455 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 21,459 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවද PCR පරීක්‍ෂණ 9,606ක් ඊයේ (දෙසැම්බර් 15) සිදුකර ඇති අතර අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ 558 දෙනෙකු වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 181 ක් වන අතර ඔවුන්ගෙන් 93 ක් කටාර්, 36 ක් මාලදිවයින සහ 52ක් ඩුබායිහි සිට පැමිණි අයවේ. ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට නියමිතය.

වෛරසයෙන් සුවය ලැබූ  පුද්ගලයින් ගණන 24,866 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට තුළින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 157 ක් කොවිඩ් - 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු  කරයි.