ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 2 ප්‍රවාහන ගුවන් යානා බලඝනය
66 වැනි සංවත්සරය සමරයි

සැප්තැම්බර් 06, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන අංක 2 බර ප්‍රවාහන බලඝනයේ අභිමානවත් 66 වන සංවත්සරය 2023 සැප්තැම්බර් 01 වන දිනට යෙදී තිබිණ. මෙම බලඝනය 1957 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී ස්ථාපිත කර ඇත.

පසුගිය වසර 66 තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතා කරනු ලැබූ විවිධ ගුවන් යානා වර්ග 17ක් මෙම බලඝනයට අනුයුක්තව සේවයේ යොදවා ඇත. එයා ස්පීඩ් ඔක්ස්ෆර්ඩ් ගුවන් යානයෙන් ඇරඹි ගුවන් යානා බලඇණිය වර්තමානයේ ඇන්ටනොව් 32 බී සහ හර්කියුලිස් සී-130 ගුවන් යානා වලින් සමන්විත වේ.

දෛනික ගුවන් ගමන් වලට අමතරව හදිසි අනතුරු සහ වෛද්‍ය මුදා ගැනීම් සඳහා කෙරෙන ගුවන් මෙහෙයුම්, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් (දේශීය සහ විදේශීය), නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම්, පැරෂුට් පුහුණු සඳහා පියාසර මෙහෙයුම් සහ ප්‍රභූ ප්‍රවාහනය වැනි විශේෂ ගුවන් මෙහෙයුම් වල වගකීම බලඝනයට ප්‍රධාන වශයෙන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

1991 සිට 2009 දක්වා දශක දෙකකට ආසන්න කාලයක් යාපනය අර්ධද්වීපය හා ප්‍රධාන ගොඩබිම සම්බන්ධ කල ගොඩබිම් හා මුහුදු මාර්ග ඊළාම් යුද්ධය හේතුවෙන් අවහිර වී පැවති සමයේ, සතුරු මිසයිල උවදුරුද නොතකමින් එම ප්‍රවාහන කර්තව්‍යය සම්පුර්ණයෙන්ම සිදු කරන ලද්දේ මෙම බලඝනය මගිනි.

වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මෙම බලඝනයේ අණදෙන නිළධාරියෙකු ලෙස 2010 ජනවාරි 01 සිට 2011 මාර්තු 28 දක්වා කාලය තුල සේවය කර ඇත. දැනට අංක 2 බලඝනයේ වැඩබලන අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් මුදිත සමරකෝන් කටයුතු කරනු ලබයි.

මව්බිමේ නිදහස වෙනුවෙන් සිදු කල අපරිමිත දායකත්වය අගයමින් 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා විසින් අංක 2 බලඝනයට ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලදී.