දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණය තවදුරටත්

සැප්තැම්බර් 15, 2023
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නාය යැම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (සැප් 15) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වලත් කළුතර, කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම අනාවැකියේ තවදුරටත් සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කි.මී.40-45 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල යන ප්‍රදේශ වලට පළමු (කහ) මට්ටමේ නාය යැම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ ද එම අනතුරු ඇඟවීම්වලට ඇතුළත් වේ.