දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරේ

සැප්තැම්බර් 20, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (සැප් 20) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැක.

වයඹ පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම අනාවැකියේ තවදුරටත් සඳහන් වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, අගලවත්ත, මතුගම සහ වලල්ලාවිට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පසු ගිය පැය 24 තුල මිලි මීටර් 77ක උපරිම වර්ෂාපතනය මාතර දෙරංගල ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ අතර පුත්තලම සිට කොළඹ දක්වා ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර එහි වේගය පැ.කි.මී.25-35 දක්වා පවතී. ඇතැම් විට මෙම සුළගේ වේගය පැ.කි.මී. 40-45 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැකි බව එහි සඳහන්.