ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 25, 2023

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්.ඩී. ෂෆියුල් බාරි සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව අද (සැප් 25) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් කොමදෝරු බාරි ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහු සමඟ සුහද කතා බහක නිරත විය. සංවාදය අතරතුර, නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා රජය මෙන්ම ආරක්‍ෂක අංශ වෙත දැක්වූ සහයෝගීතාවය සහ සුහදතාවය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර, පවතින දීර්ඝකාලීන සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ අතර, එම සුහදතාවයන් හා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කළහ. ජෙනරල් ගුණරත්න විසින් නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා වෙත ඔහුගේ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම් ද එක් කළේය.

මෙම හමුව අවසානයේ දී සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර, හමුදා සම්බන්ධිකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට සහභාගී විය.