කේරළ ගංජා කිලෝ 39 කට අධික තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

දෙසැම්බර් 18, 2020

මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 39 ග්‍රෑම් 197 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 14 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත.

වයඹ නාවික විධානය මගින් සිලාවතුර හා කල්පිටිය පොලිස් ස්ථාන හා එක්ව පුදුකුඩිරිප්පු, නොරොච්චෝලේ, කරඹේ සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී  කිලෝ 25 ග්‍රෑම් 318 කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් 07 ක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානය මගින් කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මුලතිව් පොලීසිය සමඟ එක්ව මඩකලපුව පුතූර්, පුල්මුඩේ සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කිලෝ 02 ග්‍රෑම් 674 ක පමණ කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් සහ යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

තවද, දකුණු නාවික විධානය සහ උතුරු මැද නාවික විධානයන් මගින් හම්බන්තොට හා මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායන් සහ ජයපුරම් පොලීසිය සමඟ එක්ව ඇඹිලිපිටිය, මන්නාරම සහ මුලංකාවිල් පල්ලවාරයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුමෙන්  කිලෝ 11 ග්‍රෑම් 205 ක පමණ කේරළ ගංජා සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම් සිදුකරන ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිලාවතුර, නොරොච්චෝලේ, කල්පිටිය, මඩකළපුව, පුල්මුඩේ, මුලතිව්, ඇඹිලිපිටිය, මන්නාරම සහ ජයපුරම් යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Sinhala.