ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා ‘ජාතික තරුණ විරු සම්මානය’
ජාතික ශිෂ්‍යභට බලකාය හරහා ක්‍රියාත්මක කෙරේ - වැඩබලන ආරක්‍ෂක ඇමැති

දෙසැම්බර් 02, 2023

අනාගත සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා සුවිශේෂී නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ජවසම්පන්න, දැනුමෙන් සන්නද්ධ, විනයගරුක පුරවැසියන් බවට තරුණ ප්‍රජාව හැඩගැන්වීම අරමුණු කර ගත් ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා වන ‘ජාතික තරුණ විරු සම්මානය’ හඳුන්වා දීමේ ක්‍රියාන්විතය ජාතික ශිෂ්‍යභට බලකාය හරහා සිදුකරන බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (දෙසැ. 01) පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ 41 ක් වන පරිවාස නිලධාරී කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අමාත්‍ය තෙන්නකෝන් මෙම අදහස් පල කරන ලදි.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි 2022 වසරේදී බඳවා ගන්නා ලද කාන්තා නිලධාරිනියන් 10 දෙනෙකු ඇතුළුව පරිවාස නිලධාරීන් 64 දෙනෙකු සාර්ථක පුහුණුවක් නිම කිරීමෙන් අනතුරුව අද දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරිය ලබා මෙලෙස විසිර ගියහ.

වසර 142 ක ජාතික ශිෂ්‍යභට බලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විසිර යාමේ පෙළපාලියකදී සිදුකරන ලද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් සන්නද්ධ සේවා නිලධාරීන් ලෙස අධිකාරී ලබන නිලයන් වෙත සංකේතාත්මකව ප්‍රදානය කරනු ලබන අසිපත්, ජාතික ශිෂ්‍යභට බලකා පරිවාස නිලධාරීන් වෙත ප්‍රදානය කිරීම ද මෙවර පෙළපාලියේදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්. එම් ප්‍රේමතිලක, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදුහල්පතිවරුන්, සම්භාවනීය අමුත්තන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.