ග්‍රාමීය ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවයි

දෙසැම්බර් 20, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන අරමුණු කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් මෑතකදී අම්පාර හුලන්නුගේ ප්‍රදේශයේ ජල හිගයෙන් පෙළෙන ජනතාව සඳහා තවත් ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු (RO) මධ්‍යස්ථානයක් ඉදිකරන ලදී.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීම සඳහා සකස් කරන ලද ජාතික වැඩසටහනට හවුල් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා  ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන 787 ක් ස්ථාපිත කර ඇති අතර ඒ සදහා තාක්ෂණික සහය සහ ශ්‍රමය ලබාදෙනු ලැබේ.

මෙම උදාර මෙහෙවර මගින් අම්පාර හුලන්නුගේ විද්‍යාලයේ සිසුන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝ  කාලයක් තිස්සේ පවතින සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ගිනිකොන නාවික විධානය ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, ලාහුගල සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, ගම්වාසීන් සහ සිසුන් සමාරම්භක උත්සවයට  සහභාගී වූහ.