ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීයව එන් 95 මුඛ ආවරණ විෂබිජහරණය කිරීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරයි

දෙසැම්බර් 20, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන්  එන් 95 මුඛ ආවරණ විෂබිජහරණය කිරීමේ යන්ත්‍රයක් දේශීයව නිෂ්පාදනය කර තිබේ.

මෙම යන්ත්‍රය කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට දකුණු නාවික විධානයේ ආඥාපති  රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් දෙසැම්බර් 16 වන දින භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්ය අජිත් මලලසේකර මහතාගේ මඟ පෙන්වීම ඇතිව පාවිච්චි කරන ලද එන් 95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා නාවික හමුදාවද සාමාජිකයෙකු විය.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම, වෛද්‍ය ආයතනයන්හි ක්‍ෂුද්‍රජීවී සහ වෛරස විද්‍යාඥයින්ගේ කැපවීම මෙන්ම ‘රොටරි ක්ලබ් ඔෆ් කැපිටල් සිටි’ මගින් එක්රැස් කරන ලද අරමුදල් දායකත්වයෙන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා පාරජම්බුල විකිරණ පාත්‍රණය/ වියලි තාපය (70 C0) මත පදනම්ව මෙම විෂබීජහරන යන්ත්‍රය, ගාල්ල දකුණු නාවික විධාන ඉංජිනේරු වැඩපල මගින් උසස් නිමාවකින් යුතුව නිම කිරීමට කටයුතු කරන ලදී.

තවද, මෙවැනි යන්ත්‍ර ආනයනය කිරී‍ම සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීම උදෙසා, තව දුරටත් මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් උපදෙස් ලබාදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය මඟින් භාවිතා කළ N95 මුඛ ආවරණ විෂබීජහරනය කර නැවත භාවිතා කිරීමට හැකියාව ලැබෙන බැවින් පරිසරයට බැහැර වන භාවිතා කළ N95 මුඛ ආවරණ ප්‍රමාණය අවම කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

තවද, මේ අයුරින්ම නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ පළමු යන්ත්‍රය කොළඹ උතුර ශික්ෂණ රෝහලට භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හර්ෂණී උබේසේකර හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්, මෙම ව්‍යාපෘතියේ නාවික හමුදා ඉංජිනේරු තාක්‍ෂණික කණ්ඩායම් ප්‍රධානී ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.