ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

මැයි 04, 2019

ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ අන්තර්ගතයන් සහිත ලිපි 600 කට අධික සංඛ්‍යාවක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් සහ සිවිල් තොරතුරු සපයන්නන් ඇගයීමට

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත. මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර ඉදිරි සති කිහිපය තුල සමාජ ක්‍රියාකාරකම් ගැන සලකා බලා අවශ්‍ය ආරක්ෂක පියවරයන් ඉදිරියට තවදුරටත් ශක්තිමත් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සක කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ සිකුරාදා (මැයි 03) දින සවස පවතී මාධ්‍ය හමුවකදී ය.

පසුගිය පැය 24 පුරා යුද්ධ හමුදාව වව්නියාව, පුත්තලම, කටුගස්තොට, අකුරණ, ගම්පොළ, පේරාදෙණිය, නාවලපිටිය, රාගම, අලුත්ගම, කළුතර, වැලිගම, ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. මෙම මෙහෙයුම් වලදී සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඩෙටනේටර්, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, පතුරම් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනීමට සමත්ව ඇත.

පාසල්, ආගමික සිද්ධස්ථාන, සංචාරක හෝටල් ආදිය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පුපුරන ද්‍රව්‍ය පුරවාගත් වාහන 20 උතුරට ඇතුළු වී ඇති බවට පැතිරෙන ප්‍රවුර්තිය පිළිබඳව අපි එකඟ නොවෙමු. රට පුරා දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මකව පවතින බැවින් පොදු ජනතාවට කිසිඳු බයක් ඇතිකර නොගතයුතු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිසියට ලද තොරතුරක් මත ජනාධිපතිවරයාගේ නමද ඇතුලත් රාජ්‍ය විරෝධී තොරතුරු සහ ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ කරුණු අඩංගු ලිපි 639 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. මෙම සැකකරුවන් ඊයේ (මැයි 02) දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. කරන්දෙණියේ ගෙදර සම්පත් කුමාර, විජේරත්න මුදියන්සේලාගේ දනුශ ප්‍රියදර්ශන සහ පටබැඳිගේ කවිඳු තක්ෂිල වීරසේන යන සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

ජා ඇළ ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබූ සජීවී කාලතුවක්කු උණ්ඩ 409 ක් සහ හිස් උණ්ඩ 584 ක් ඇතුළු කාලතුවක්කු උණ්ඩ 993 සොයාගැනීමට පොලිසිය ඊයේ සමත්විය. මෙම මෙහෙයුමේදී යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව පොලිසිය වෙත සහය වී ඇත. මෙහිදී කම්හලේ සේවය කල නිලධාරීන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත පාසල් සඳහා උපරිම ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබේ. මේ සබැඳිව අවශ්‍ය උපදෙස් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානවලට මේ වනවිටත් ලබාදී ඇත. ආරක්ෂක හේතූන් මත පාසැල් අසල කිසිම වාහනයක් නොනවත්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. එසේ නවතා තබන වාහන ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර පරික්ෂාවකට ලක්කෙරෙනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයින් ඇතුළු අදාල බලධාරීන් විසින් නිකුත් කරන ලද සත්‍ය තොරතුරු මත පමණක් විශ්වාසය තැබිය යුතු බවත්, සමාජ මාධ්‍ය මගින් බෙදාහරින අසත්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කටකතා සහ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

සයින්දමරුදු සිද්ධියේදී ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව ලැබුණු තොරතුර අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වී සිදුවීමට තිබු විශාල හානියක් වලක්වාගත් රථවාහන පොලිසියේ පොලිස් කොස්තාපල්, සැරයන් නිලයට උසස් කිරීමටත් මුදලින් රු: 500000.00 ක් ත්‍යාග මුදලක් ලබාදීමටත් පොලිස් මුලස්ථානය තීරණය කර ඇත.ඒ සඳහා සහාය වූ අනෙක් පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල් හට පොලිස්පති ප්‍රසංසා ලිපියක් සහ මුදලින් රු: 500000.00 බැගින් ලබාදීමට ද තීරණය විය.

මීට අමතරව, මුලින්ම මේ පිළිබඳව තොරතුරු ලබා දුන් මුස්ලිම් ජාතිකයින් තිදෙනා හට මුදලින් රු. 1,000,000.00 බැගින් ත්‍යාග පිරිනැමීමට පොලිස් මුලස්ථානය තීරණය කර ඇත.

ජා ඇල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාකිස්තානු ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදී තිබේ. මේ අතරින් දෙදෙනෙකු හට පමණක් වලංගු විසා බලපත් තිබී ඇත. පසුගිය පැය 24 තුළ කල්මුනේ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය පුරවා තිබු පිවිසි බට 22 ක් තිබී සොයාගෙන තිබේ.

ගුවන් හමුදාව විසින් මීගමුව ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 30 දෙනෙකු සහ මුන්දලම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය වෙත භාර දී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.