තවත් PCR පරීක්ෂණ 13,860 ක් ඊයේ සිදු කරන ලදී.

දෙසැම්බර් 22, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 370 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 37,630 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 22 ) ප්‍රකාශ කරන ලදී.

හඳුනාගත්  ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 6 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 101 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 67 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 46 ක් වේ. වෙනත් දිස්ත්‍රික්කයන්ගෙන් හදුනාගත් ආසාදිතයන් ගණන 150 කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 33,950 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 25,274 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවද PCR පරීක්ෂණ 13,860 ක් ඊයේ (දෙසැම්බර් 21 ) දින සිදුකර ඇත.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 112  ක් වන අතර ඔවුන්ගෙන් 50 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 35 ක් කටාර් සහ 27 ක් ලෙබනන් සිට පැමිණි අයවලුන් වේ. ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

පසුගිය පැය 24 තුළ සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 415 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 28,681 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,773 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 72 ක් යටතේ පුද්ගලයින් 6,473 ක් නිරෝධායනය කරනු ලැබේ.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරොනා වෛරස් ආසාදිත මරණ වාර්තා වී නොමැත.