විශ්‍රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා ප්රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
අප්‍රේල් 07, 2024- ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ගජබා රෙජිමේන්තුවේදී විශ්‍රාමික/ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන හා පරිපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අප්‍රේල් 06 දින ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලද අතර, මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව යුද හමුදාව වෙතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සොයා බැලීම වන අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර විසින් උත්සවයට සපැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබූ ලැබීය.
වැඩසටහන ආරම්භයේදී, යුද හමුදා මූලස්ථානයේ විවිධ අධ්යක්ෂ මණ්ඩල හතක් යටතේ උපකාරක මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හට ඔවුන්ගේ පැමිණිලි වාර්තා කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබිණ.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, "රාජකාරි කටයුතුවලදීත් ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන සේවයේ වැදගත්කම පැහැදිලි කරන ලද අතර, රටේ නිදහස සහ සාමය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදුකල උත්තරීතර කැපකීරීම සහ යුධ ගිනි ඇවිලී තිබූ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අපරිමිත කැපකිරීම් පිළිබඳව ද මෙහිදී සිහිපත් කරන ලදි.
රට ජාතිය වෙනුවෙන් එවන් උදාරතර සේවයක් සිදුකල ඔවුන්ගේ සුභසාධනය අත්‍යවශ්‍යයෙන්ම සැලකිය යුතුයි. ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය පරිපාලන ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සදහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පැවසීය.
මීට අමතරව රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීම 'උරුමය' වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමට ද බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කලේය. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලදි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික), ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.