පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 30, 2024

ශ්‍රී ලංකාව සදහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස අභිනවයෙන් පත් වූ මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) මැතිතුමා, අද (අප්‍රේල් 30), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අද පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පාකිස්ථාන නියෝජිත පිරිස ජෙනරල් කමල් ගුණරත්න ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේදී, අභිනව පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගේ නව පත්වීම පිළිබඳව උණුසුම් සුභ පැතුම් එක් කල ආරක්‍ෂක ලේකම්වරයා, දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බව ද ප්‍රකාශ කළේය.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව, සම්බන්ධ පුහුණු අවස්ථා සහ අන්‍යෝන්‍ය වගකීම් ඉහළ නැංවීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම නිලධාරීන්ගේ අවධානය යොමු විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.