ජාතික ශිෂ්‍යභට බලකාය සිය 143 වැනි සංවත්සරය සමරයි

අප්‍රේල් 29, 2024

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතික ශිෂ්‍යභට බලකාය සිය 143 වැනි සංවත්සරය සැමරීම පසුගියදා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

‘සරඹ තුළින් විනය’ යන ආදර්ශ පාඨය පෙරදැරිව 1881 දී එවකට විදුහල්පති ජෝන් බී කල් විසින් කැඩෙට් ඛණ්ඩයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ ආරම්භ කළ ජාතික ශිෂ්‍යභට බලකාය පාසල් සිසුන් නායකයින් සහ විනයගරුක පුරවැසියන් ලෙස අනාගතයට හැඩගස්වමින් විශාල ජාතික මෙහෙවරක් ඉටු කරමින් දිගු ගමනක් පැමිණ ඇත. බොහෝ ශිෂ්‍ය භටයින් රටේ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා තම ජීවිත සහ අත් පා අහිමිකරගනිමින් ජිවිත කැපවීමෙන් රට වෙනුවෙන් සේවය කර ඇත.

ජාතිය වෙනුවෙන් කළ මෙම අනගි මෙහෙවර අගයමින් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ 2023 දී ජාතික ශිෂ්‍යභට බලකාය වෙත පිරිනමන ලදි.

සංවත්සර සැමරුම් උත්සවය ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් හා සියලුම නිලයන්ගේ සහභාගිත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්විණ.

සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් මහා සංඝරත්නය විසින් බලකා කොඩි වෙත ආශිර්වාද කිරීමේ උත්සවයක් අප්‍රේල් 28 දින මහියංගන රජ මහා විහාරයේදී පැවැත්විණි.

අප්‍රේල් 29 දින ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ වෙත ශිෂ්‍ය භටයින් විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර ඉන් අනතුරුව රුක් රෝපණය කිරීමක්ද පවත්වන ලදි.

අනතුරුව පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි ‘නාඳුනන ශිෂ්‍යභටයාගේ’ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු නිලයින් විසින් සිදු කරන ලදි.