ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක

මැයි 06, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 06) ගණේමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක විසින් රාජ්‍ය අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, රාජ්‍ය අමාත්‍යවරයා කමාන්ඩෝ රෙජිමේන්තුව පිළිබඳ සිදුකල ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වූ අතර, මෙහිදී රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු වල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

සාකච්ජාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයන් එක්ව කඳවුරු භුමිය තුල ප්‍රතිසංස්කරණය කොට තිබෙන විහාරස්ථාන භුමිය විවෘත කිරීම සිදු කෙරිණ. එමෙන්ම අමාත්‍යවරයා විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වීමටද අමතක නොකළේය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයන්ටම අනන්‍ය සහ සුවිශේෂී සටන් ක්‍රම විදහා දක්වමින්, සුනඛ සංදර්ශනයක්, රැප්ලිං අභ්‍යාස, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සහ වෙඩි තැබීමේ අභ්‍යාස පිළිබඳ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් මෙහිදී සිදු කරන ලදි.

මෙම සංචාරයේ වැදගත්කම සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වු අතර, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සමුහ ජායාරූපයකට ද එක් විය. තවද, සිය නිල සංචාරය අවසන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අමුත්තන්ගේ පොතට සමරු සටහනක් ද එක් කරන ලදි.