රුසියානු ජයග්‍රාහී දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස
ආරක්‍ෂක ලේකම්වරයා එක් වෙයි

මැයි 08, 2024

වාර්ෂිකව පැවැත්වෙන රුසියානු ජයග්‍රාහී දින සැමරුම් උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 08) දින කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhakaryan මැතිතුමා විසින් අද සන්ධ්‍යාවේ එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා පිළිගන්නා ලදි.

සෑම වසරකම මැයි 9 වන දිනට යෙදෙන රුසියානු ජයග්‍රාහී දිනයේදී, 1945 වසරේ නාසි ජර්මනියට එරෙහිව රුසියානුවන් ලැබූ ජයග්‍රහණය සැමරීම සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් Maria L. Popova මහත්මිය, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා හිටපු යුධ හමුදාපති ජෙනරල් දයා රත්නායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.