දකුණු ආසියාවේ දේශගුණික විපර්යාස, හරිත මූල්‍ය සහ
ආපදා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සැසිය කොළඹදී

මැයි 15, 2024
  • දකුණු ආසියාවට නිරතුරුවම ලැබෙන හිරුඑළිය තිරසාර බලශක්තියක් ලෙස භාවිතා කිරීම අපගේ නැගී එන ආර්ථිකයට පිටුවහලක් වේ - ආරක්‍ෂක ලේකම්

ආසියානු කලාපයේ දේශගුණික විපර්යාස මඟින් එල්ල වන අභියෝග හමුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම සහ හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

පුනර්ජනනීය බලශක්තිය දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීමට, පොසිල ඉන්ධන මත අපගේ යැපීම අඩු කිරීමට සහ බලශක්ති සුරක්‍ෂිතතාවයට දායක වීමට ශක්‍ය විසඳුමක් ඉදිරිපත් කරයි. දකුණු ආසියානු කලාපයේ බහුල හිරුඑළිය මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශාල අවස්ථාවක් ලබා දෙයි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මේ අදහස් පළ කළේ මැයි 15 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති දකුණු ආසියාවේ දේශගුණික විපර්යාස, හරිත මූල්‍ය සහ ආපදා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

හොංකොං හි Regional Program Energy Security and Climate Change Asia-Pacific හි අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රෙඩ්රික් ක්ලියම් විසින් සැසියේ පිළිගැනීමේ දේශනය පවත්වන ලදි.

මෙම සැසියට සහභාගීවු සම්භාවනීය අමුත්තන් අමතමින් සිය ප්‍රධාන දේශනයේදී ජෙනරල් ගුණරත්න දකුණු ආසියානු රටවල දේශගුණික විපර්යාසවල බලපෑම් සහ තිරසාර අනාගතයකට මාරු වීම සඳහා සහයෝගීත්වයේ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති සහ හරිත මූල්‍ය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ මුලපිරීම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයන්, ව්‍යාපාර, සිවිල් සමාජ සංවිධාන සහ විද්වතුන් එක්ව කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. බහුපාර්ශ්වික සහයෝගීතාවය සහ දැනුම හුවමාරු කර ගැනීම දේශසීමා හරහා සිදුවන පාරිසරික අභියෝගවලට මුහුණදීමට සහ සැමට සාධාරණ සංක්‍රාන්තියක් සහතික කිරීමට ඉතා වැදගත් වේ.

Regional Program Energy Security and Climate Change Asia-Pacific (RECAP) ආයතනය, Consortium of South Asian Think Tanks (COSATT) යන ආයතන හා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සමඟ එක්ව Konrad-Adenauer-Stiftung විසින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන මැයි 17 දින දක්වා පැවැත්වේ.

දකුණු ආසියානු කලාපයේ කුඩා රටවල් මුහුණ දෙන දේශගුණික විපර්යාස හා සම්බන්ධ අභියෝග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ හරිත මූල්‍ය පිළිබඳ පුළුල් දැනුමක්, විශේෂයෙන් තරුණ වෘත්තිකයන් අතර පෝෂණය කිරීම මඟින්, ගැටලු ඵලදායී ලෙස විසඳීමට අවශ්‍ය උපක්‍රම සමඟ සහභාගිවන්නන් සන්නද්ධ කිරීම ද අපේක්‍ෂා කෙරේ.

විද්වත් සාකච්ඡා මාලාවක් හරහා දේශගුණික විපර්යාසවලට බලපාන තිරසාර විසඳුම් පිළිබඳ අවබෝධයක් මෙම වැඩසටහන මගින් ලබා දෙනු ඇත. මෙයට සහභාගිවන්නන් හට දැනුම ලබා ගැනීමටත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනිමටත් හැකි වනු ඇත. දකුණු ආසියාව සඳහා වඩාත් උචිත සහ තිරසාර අනාගතයක් හැඩගැස්වීම ඉලක්ක කරගත් අර්ථවත් සාකච්ඡාවක් සඳහා දායක වීමටත් අපේක්ෂා කෙරේ.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය හි අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා සැසියේ ස්තූති කථාව පැවැත්වීය.

බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ජර්මනිය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල විශේෂඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.