67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී රැස්වේ

මැයි 16, 2024
  • ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ආපදා අවදානම් අවම කිරීම අතිශය වැදගත් - ආරක්‍ෂක ලේකම්

"ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකරුවන් අතර ප්‍රතිපත්ති සම්පාදනය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ ඵලදායී සම්බන්ධීකරණය සඳහා තීරණාත්මක වේදිකාවක් සලසනු ලබයි. ආපදා කළමනාකරණය සඳහා වන ජාතික සභාව හරහා ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමින් හා ඉන් ඔබ්බට විහිදුනු සන්නිවේදන සඳහා අප පහසුකම් සපයන්නෙමු."

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද (මැයි 16) පැවැති 67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ පිළිගැනීමේ කතාව පවත්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කලේය.

මෑත කාලයේදී, ස්වාභාවික හේතුන් මත ඇති වූ හා මිනිසා විසින් ඇති කරන ලද ආපදාවන්ගේ සංඛ්‍යාතයේ සහ තීව්‍රතාවයේ වැඩි වීමක් අපට දැකිය හැකි විය. මෙම අභියෝග වලට අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තු මට්ටමින් තනි වශයෙන් නොව ඉන් ඔබ්බට ගිය ඒකාබද්ධ ප්‍රතිචාරයක අවශ්‍යතාව වඩා වැදගත් බව අවාධාරණය කරමින් ජෙනරල් ගුණරත්න මෙහිදී තවදුරටත් අදහස් දැක්වීය.

රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ නිල ලාංඡනය එළි දැක්වීම ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ.

"Renewed commitments, strengthening partnerships towards a resilient community" යන තේමාව යටතේ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක ආහාර වැඩසටහනේ පුර්ණ සහයෝගය සහිතව මෙම හමුව පවත්වන ලදි.

ඒ අනුව, මෙම සැසිය හරහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට ජාතික මට්ටමේ සංවාදයක් සඳහා අවස්ථාව සපයයි.

ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුරහිම් සිද්ධික් මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) නාලක ප්‍රියන්ත මහතා වැඩසටහන ආරම්භයේ දී සිය අදහස් පළ කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) නාමල් ලියනගේ මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු. එස්.පී.සී. සුගීෂ්වර සහ නියෝජ්‍ය කළමණාකරු, ශ්‍රී ලංකා කලාපීය පර්යේෂක සහ ජල සම්පත් ඉංජිනේරු ආචාර්ය නිෂාදි ඊරියගම මහත්මිය විසින් මෙහිදී ඔවුන්ගේ පර්යේෂණ ලිපි ඉදිරිපත් කළ අතර විද්වත් කථිකාවත් වලින් අනතුරුව සංසදය අවසන් විය.

විදේශීය රාජ්‍ය නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රධානීන්, කළමනාකරුවන් සහ අධ්‍යක්‍ෂවරුන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම සැසියට එක් වූහ.