15 වැනි ජාතික රණවිරු දිනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
අභිමානවත්ව සමරනු ලබයි

මැයි 19, 2024
  • රට දැය වෙනුවෙන් දිවිදුන් සහ විවිධ ආබාධයන්ට ලක් වූ රණවිරුවන් උදෙසා ජාතියේ ප්‍රණාමය

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් අප දේශය වෙනුවෙන් සිදු කළා වූ අමිල මෙහෙවර සිහිපත් කරමින්, 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද (මැයි 19) දින පැවැත්විණි.

මාතෘභූමියේ නිදහස සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින් සාමයේ සහ එකමුතුකමේ යුගයක් උදාකිරීම සඳහා අභීත රණවිරුවන් සිදු කළ උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කරමින් ජාතික උත්සවය වාර්ෂිකව පවත්වනු ලබයි.

තිස් වසරකට අධික කාලයක් මුළුල්ලේ අප රට පීඩාවට පත් කළ ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් රට මුදාගත් ජයග්‍රාහී සංග්‍රාමයට පණ පොවමින් පරාර්ථකාමීව මෙන්ම නොමැකෙන ධෛර්යයකින් දායක වූ ආබාධිත රණවිරුවන් අත් වාරුවේ හෝ රෝද පුටුවේ නැගී උත්සව භූමියට පැමිණි අවස්ථාවේදී, රැස්ව සිටි සියලු දෙනා නැඟී සිටිමින් එම විරුවන්ගේ අභිමානය උදෙසා සිය ගෞරවය දැක්විය.

 ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සටනේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 28,619 දෙනෙකු මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර, තවත් රණවිරුවන් විසිහත් දහසකට අධික පිරිසක් විවිධ ආබාධිත තත්ත්වයන්ට පත් වූහ.

අද දින උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් මිය ගිය රණවිරුවන් සිහිකිරීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත් වූ අතර, ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයේදී ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පළමුව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් රණවිරුවන් වෙත සිය උපහාරය පුද කළේය. ඉන් පසු අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ද මිය ගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය මෙහිදී ප්‍රශංසාවට ලක් කෙරුණු අතර, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටි පිරිස් විසින් එම රණවිරුවන් ඉමහත් අභිමානයෙන් හා කෘතවේදීව සිහිපත් කළහ.

රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සුබසාධන කටයුතු භාර රාජ්‍ය ආයතනය වන රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කිරීමට කටයුතු යොදා තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මහජන ආරක්‍ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, අනෙකුත් මැති ඇමතිවරුන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රණවිරුවන් මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවි පිදූ විරුවන් වෙනුවෙන් සිය ගෞරවාචාරය පුද කළහ.

2009 මැයි මාසයේ අද වැනි දිනක යුද්ධය අවසන් වූ දා පටන් අපගේ දේශය සාමය, සහයෝගිතාවය සහ අලුත් බලාපොරොත්තු කැටිව පැමිණි ගමනේ තවත් ඉදිරි වසරකට අවතීර්ණ වෙමින් සිටී. අප සියලු දෙනාම එක්ව එකමුතුවෙන් සහ අධිෂ්ඨානයෙන් අපගේ මාතෘභූමියේ ශ්‍රේෂ්ඨත්වය ඉහළ නැංවීමට කටයුතු කරමු.