රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, අපහසුතා මගහරවා ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මැයි 20, 2024

අප මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් සටන් වැද දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථා බොහොමයක් නිරීක්‍ෂණය වී ඇත.

ඔවුන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් වලදී එම රණවිරුවන් විසින් ඉදිරිපත් කල ගැටළු අතර ද මේ සඳහා ප්‍රමුඛත්වයක් හිමි විය.

යුධ සමයේ සහ විජයග්‍රහණයෙන් වසර කිහිපයක් යනතුරු හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් වෙත සමාජයේ ඉහළ පිළිගැනීමක් පැවතියද, අද වන විට එය ක්‍රමයෙන් හීන වෙමින් පවතී. ඇතැමුන්ට මේ රටේ යුද්ධයක් තිබූ බව පවා අමතකව වී ඇත.

විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, රජයේ රෝහල් මඟින් පහසුකම් ලබාගැනීමේදී ඇතැම් රණවිරුවන් හට රෝද පුටුවේ රැඳී සිටිමින් හෝ කිහිලිකරුවෙන් නැගී සිටිමින් ඔවුන් මුහුණ දෙන අසීරු තත්වයන් යටතේ පවා දිගු පෝලිම් වල රැඳී සිට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත.

ඇතැම් අවස්ථා වලදී දුර බැහැර ප්‍රදේශ වල සිට ප්‍රතිකාර සඳහා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගර වෙත පැමිණීමට සිදුවන අතර, එවැනි අවස්ථාවලදී ආබාධ සහිත රණවිරුවන් දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත්වේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, දැනට පවතින මෙම තත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අද (මැයි 20) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවිය.

මෙහිදී රටේ යහපත වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මඟින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී සිදුවන ගැටළු මඟ හරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ඔවුන්ට එම පහසුකම් ලබාගැනීමේදී ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන 'සුවවිරු කාඩ්පත්' නැවත සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.