ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය
අතිගරු ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරේ

මැයි 22, 2024

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සඳහා අභිනවයෙන් ඉදිකරන ලද මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 22) බත්තරමුල්ල අකුරේගොඩ දී විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් උත්සව අවස්ථාවට සපැමිණි ජනාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

උත්සව සභාව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා, යුධ විරුවන් විසින් රට වෙනුවෙන් කරන ලද අමිල සේවය අගය කළ අතර, මෙම නව මූලස්ථාන පහසුකම ඔවුන්ගේ සුබසාධන සහ පරිපාලන අවශ්‍යතා ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති බව ප්‍රකාශ කළේය. තවද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා දැක්වූ විශේෂ උනන්දුව සහ කැපවීම පිළිබඳව ද සඳහන් කළේය. එමෙන්ම රජය විසින් පත් කොට ඇති විශේෂ කමිටුවේ නිර්දේශ මත, දැනට රණවිරු ගම්මානවල පදිංචි රණවිරුවන් වෙත එම ඉඩම් වල අයිතිය සඳහා වන නීත්‍යානුකූල ඔප්පු, ‘උරුමය’ වැඩසටහන යටතේ ලබාදීමට කටයුතු කරන බවද එතුමා පැවසීය.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය ආසන්නයේ පර්චස් 266 ක භූමියක වර්ග අඩි 10,032 කින් යුතුව නිම කල මෙම නව දෙමහල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේ (2023) අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලදි. ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 60 ක් වූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ තාක්‍ෂණික විශේෂඥතාව සහ මානව සම්පත් භාවිතා කරන ලදි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගි වූහ.