දියවන්නා වෙසක් කලාපය 2024 මැයි 23 දා සිට

මැයි 22, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන 'දියවන්නා වෙසක් කලාපය 2024' මැයි මස 23 සිට 25 දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු  සූදානම් කොට ඇත.

මෙම විචිත්‍රවත් උත්සවයේ සමාරම්භය උත්සවාකාරයෙන් ආලෝකමත් කිරීම මැයි 23 සන්ධ්‍යාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වය ද මේ සඳහා ලැබෙනු ඇත.

මෙහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ ආරක්‍ෂක අමාත්‍යාංශ මාර්ගය දර්ශනීය වෙසක් කූඩුවලින් ආලෝකවත් කෙරෙන අතර, සුවහසක් බෞද්ධ ජනතාව විසින් බුදුන් වහන්සේගේ තෙමගුල සිහි කෙරෙන මෙම  බෞද්ධ සංස්කෘතික උත්සවය සැමරීම සඳහා ජනතාව වෙත මින් අවස්ථාව සැලසීමට නියමිතය.

ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික කලා ශිල්පයේ විශිෂ්ඨත්වය විදහා දැක්වෙන අලංකෘත පහන් කූඩු සහ අනෙකුත් ප්‍රදර්ශනවලින්  හැඩ වන මෙම දියවන්නා වෙසක් කලාපයෙන්   විස්මිත දැකුම්කලු දර්ශනයක් නිර්මාණය කරමින් මුළු ප්‍රදේශයම ඒකාලෝක වනු ඇත.

එපමණක් නොව ජංගම රථයක නිර්මාණය වූ වේදිකාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් බොදු ගී ගායනා කරමින් උත්සවයට විවිධත්වයක් එක් කරනු ඇත.

මෙලෙස දියවන්නා වෙසක් කලාපයේ අලංකාර වූ මංපෙත් ඔස්සේ ඇවිද යමින් ‘ආමිස පූජාවට’ එක් වන ලෙස සැදැහැ සිත් ඇති ශ්‍රී ලාංකික ජනී ජනයාට ආරක්‍ෂක අමාත්‍යාංශය ආරාධනා කර සිටී.