ආරක්‍ෂක ලේකම් දියවන්නා වෙසක් කලාපය 2024 විවෘත කරයි

මැයි 23, 2024

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා විසින් ‘දියවන්නා වෙසක් කලාපය 2024 අද (මැයි 23) සවස විවෘත කරන ලදී. මෙය ‘බුද්ධ රශ්මි’ වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කර ඇත.

මෙවර ‘දියවන්නා වෙසක් කලාපය 2024’ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරනු ලබයි.

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත දිවෙන මාර්ගය දෙපස විචිත්‍රවත් කරමින් සරසා ඇති විසිතුරු වෙසක් කූඩු සහ වර්ණවත් විදුලි පහන් මෙම සම්භාවනීය අමුත්තන් දෙදෙනා අතින් උත්සවාකාරයෙන් ආලෝකමත් විය. ITN නාලිකාවේ ‘දියවන්නා වෙසක් කලාපය 2024 සජීවී විකාශනය ද මීට සමගාමීව ආරම්භ විය.

ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම් විසින් පවත්වනු ලබන භක්ති ගී ප්‍රසංගය දියවන්නා වෙසක් කලාපයේ ප්‍රධාන විශේෂ අවස්ථා අතර වේ.

"අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච" (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව පෙරදැරිව වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන, වෙසක් දන්සල් කුටි, ඔසු පැන් හල්, තොරන් හා භක්ති ගීත ගැයෙන අලංකාර ජංගම වේදිකාවක් ඇතුළු විවිධ සංස්කෘතික අංග රාශියකින් දියවන්නා වෙසක් කලාපය සමන්විත වේ.

වෙසක් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව දියවන්නා වෙසක් කලාපයේ ඉදිකර ඇති මනරම් වෙසක් සැරසිලි නැරඹීමට අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ආරක්‍ෂක ලේකම්වරයා ද එක් විය.